content top

2010-05-14

ගුරු පාර 01


ලෝකය එන්න එන්නම සංකීරණ වීගෙන එනවා. හැමෝම ‍රැල්ලේ දුවන්නේ ඩිජිටල් ජීවිතයක් හොයාගෙන. ආධ්‍යාත්මයෙන් ස්විකත්වයෙන් සහ මානුෂිකත්වයෙන් පිට පැනපු ජීවිත සීග්‍රයෙන් සරල විනාඩි දෙකේ නූඩ්ලස් Format එකට වැටිලා. එහෙව් ලෝකෙක නොවෙනස් වන එකම දෙය ආදරය පමණයි කියලා ඇතමුන් කියාවි. මේ කතාව ඇත්තක්ද?

ඉස්සර දම්මිලා ඇවිත් සුගත්ලාට වෙරලු අහුර දික් කලා. 'අම්මා කැමතියි නම් මාත් කැමතියි' කියලා නන්දා පියල්ට කිව්වා. කෙල්ලෝ කොල්ලෝ සමන් මලින් පවන් සැලේ කියලා පටන් අරගෙන මානෙල් වගේ දිග පෙම්පත් ලිව්වා. අද වෙරලු වෙනුවට චොක්ලට් ආදේශ වෙලා. අම්මලා කැමති උනත් ටික කාලයක් ආශ්‍රය කරලා හොද නැත්තන් වෙන එකක් බලමු ගෑනු දරුවෝ කියලා කියනවා. කවුරුත් ලියුම් ලියන්නේ නෑ. කෙල්ලෝ කොල්ලන්ට Text කරනවා. Wts goin on? එහෙමයි අහන්නේ. කොල්ලෝ Nothing කියලා Reply කරනවා.

කොහොම උනත් කමක් නෑ. ලෝකෙත් එක්ක හැමදේම වෙනස් වෙද්දී ආදරේට එක තැන පල් වෙන පොල්ලෙලි වගේ වෙන්න බෑ කියලා මාත් පිළිගන්නවා. ඒත් අද තියෙන සරල ඩිජිටල් බැදීම් හරහා ආදරයේ සදාතනික ආධ්‍යාත්මික හැගීම් වෙනදා වගේ ගලනවද? ඒක දන්නේ ඔබම තමයි. ඉස්සර කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් පුදුමාකාර දේවල් ටිකක් බලාපොරොත්තු උනා. කෙල්ලෙක් කියන්නේ හැමදාම ලව් කර කර ඉන්න බෝනික්කි පැට්ටෙක් නොවේ. අද දාංගලේට නටන, පිස්සු සමයං කරන කෙල්ල ජීවිතේ පරිණත වෙනවා. කවදා හරි ආදරණීය අම්මෙක් වෙන්න ඕනා. ඒත් අද ඉන්න කෙල්ලන්ට ඒවා පුලුවන්ද? කොණ්ඩේ ටින්ට් කරලා, ෆෙදර් කට් කපලා, ඩෙනීම් ජීන්ස් එක තදට ඇදලා හායි හූයි කියලා තොදොල් වෙනවා ඇරෙන්න ගොඩක් අයට වෙන මුකුත් බෑ.

කොල්ලොත් ඒහෙමයි. ජීවිතය ගැන කිසි බරක් පතලක් නෑ. අරූට මූට හැම එකාටම ඕන ඕන විදියට කොණ්ඩෙ හදාගන්නවා. පස්සෙන් බාගයක් එළියේ හිටින්න ලොකු කලිසම් බම්බුවක් ඇද ගන්නවා. හිප් හොප් සිංදු අහනවා. පොර ටෝක්ස් දෙනවා. ඊට එහාට උන්ට මොනවද පුලුවන්?. මම මේ කියන්නේ හැමෝම ගැනනම් නෙමෙයි. ගොඩක් අය ගැන. හයක් හතරක් නොතේරෙන බබ්බු වගේ, හීන අස්සේ අවසිහියෙන් ජීවත් උනාට උබලා ජීවත් වෙන්නේ බොහොම බරපතල සංකීරණ සමාජ වටා පිටාවක. යාලුවෝ පස්සේ දුවලා, මීඩියා දේවල් පස්සේ දුවලා, දේශපාලනේට පෝස්ටර් ගහලා උබලගේ ජීවිතේට ජීවිත වලට ලැබෙන මගුලක් නෑ කියලා දැන්ම තේරෙන් නෑ. ජීවිතේ යථර්තය උබලගේම ඔලුවට කඩාගෙන වැටෙන්නේ ටික ටික හෙමිහිට. දත කට පූට්‍ටු වෙන ගානට හිර උනාම තමයි තේරෙන්නේ.

රුපියල් තිස් හතලිස් දාහක් අරගෙනත් ජීවිත් වෙන්න අමාරු රටක තරම දැන දැනම පහළොස්දාහට වැඩ කරන තරුණ තරුණියන් ලක්ශ ගානක් ලංකාවේ ඉන්නවා. අද ඔබ යැපෙන්නේ ඔබේ මව්පියන්ගෙන්, කන්න ටික, ලයිට් බිල, ෆෝන් බිල, ගෙවල් කුලී හැමදේම ඔවුන් දරන්නේ.ඔබට ඔබේ පඩියෙන් කරන්න තියේන්නේ අදුමක් දෙකක් අරන් යලුවොත් එක්ක පිස්සුවක් කෙළින්න විතරයි. ඇත්තටම ජීවිතේ පටන් ගත්ත දවසක තේරේවි ජීවිතේ කොයිතරම් නීරසද කියලා. ඔබ හිතයි මම ඔබව බය කරනවා කියලා.ඔව් මම ඔබව බය කරනවා තමයි. ඒ වගේම ඔබ පුංචිත් නෑ. තමන්ගේ අම්මට තාත්තට ඔබව තාම චූටි පැටියෙක් වෙන්න ඇති.. ඒත් තරුණයෙක් වුන ඔබ මේ රටේ සම්පූර්ණ පුරවැසියෙක්. බස් වල ඔබට බාග ටිකට් කඩන්නේ නෑ. ඔබ ඡන්ද අයිතිය තියෙන වැඩිහිටියෙක් වෙන්නේ.හෙට අනිද්දට තාත්තලා අම්මලා වේවි.

හැමදේම බෙල්ල මුලටම හිරවෙන්න කළින් අපිට පුලුවන් එක දෙයක් කරන්න. ඒ ඔබට මතක් කරල දෙන්න.
කවදත් වගේ අදත් කියන්නම්, ජීවිතය 20/20 මැච් එකක්. හැම පන්දුවක්ම තීරණාත්මකයි. අතපසු වීමකට අත්වැරදීමකට දශමයක් ඉඩක් නෑ. පරාජයකට හුස්මකටවත් ඉඩක් නෑ. මොකද කරන්න ඕනා කියලා අපෙන් අහන්න එපා. අපි දන්නෑ ඔබේ හීන මොනවද කියලා. එකම එක දෙයක්. හිස ගිනි නිවන්නෙකු සේ වැඩ කරන්න. වෙහෙස වන්න. පිස්සු නටන එක කොන්දේසි විරහිතව නතර කරන්න. එච්චරයි.

උපුටා ගැනීම තරුණයා පුවත් පත

1 ප්‍රතිචාර:

Tharindu said...

sira kathava machan

Post a Comment

content top